Monday, February 7, 2011

ආනන්ද සමරකෝන් -සොඳුරු සංගීතවේදියෙකුගේ මතක...

ආනන්ද සමරකෝන් -සොඳුරු සංගීතවේදියෙකුගේ මතක...


ආනන්ද සමරකෝන් යන නාමය මෙරට ජන හදගැස්මට සමීපව තිබෙන්නේ ඔහු ජාතික ගීයේ නිර්මාතෘ වූ නිසාම නොවේ. අපූර්වතම නිර්මාණවේදියෙකු මෙන්ම සෞන්දර්යවාදී චරිතයක් වූ නිසාය. එකල ඉන්දීය ගී තනුවලට නතුව තිබූ සංගීත යුගය නිමාකරමින් අපේම අපේ ගීත කලාවක් බිහිකිරීමට පුරෝගාමී වූ සොඳුරුතම ආඥාදායකයා ඔහුය. එතැනින් පසු හෙළ ගීයේ අපූරු මිහිරක් සනිටුහන් කළ සුනිල් ශාන්තයන්ගේ සිට පණ්ඩිත් අමරදේවයන් ඇතුළු රෝහණ වීරසිංහයන් දක්වා වූ අපේකම සොයා අපේ දේ ලෝකයට ගෙන ගිය කලකරුවන් ඒ නිසාම ආනන්ද සමරකෝන් ශූරීන්ට ණයගැති බව විචාරක මතයයි. අප මේ සූදානම් වන්නේ ඒ මතය ගැන විමසුමට නොවේ. ජාතික ගීතයේ නිර්මාතෘ වන ආනන්ද සමරකෝන් ශුරින්ගේ 100 වෙනි ජන්ම දිනය පසුගියදා යෙදී තිබුණු හෙයින් එතුමා ගැන වූ අපමණ මතකයන් බිඳක් අවදි කිරීම ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන පරිදි මෙරට ස්වතන්ත‍්‍ර ගීත කලාවේ පුරෝගාමියා වන්නේ නැසී ගිය මේ අසහාය කලාකරුවා වන ආනන්ද සමරකෝන් ශූරීන්ය. 1911 දී උපත ලද සමරකෝන් ශූරීන්ගේ උපන් ගම ලෙස සඳහන් වන්නේ පාදුක්ක ප‍්‍රදේශයේ වටරැුක ලියන්වලයි. වග රජයේ පාසලත්, ඉන්පසුව කෝට්ටේ කතෝලික පාසලෙනුත් අධ්‍යාපනය ලද ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ශිල්ප හදාරා ඇත. තාත්තා වතු සමාගමක ප‍්‍රධාන ලිපිකරුවෙකු වූ අතර, මව ගුරුවරියක වූවාය. ආනන්ද සමරකෝන් ශූරීන් වෘත්තියෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. සංගීතයට හා චිත‍්‍ර කර්මයට අපූරු හැකියාවක් තිබීම ඔහු සතු සුවිශේෂත්වයකි. එපමණක් නොව, පසු කලෙක ඔහු නිර්මාණය කළ ගීත සියල්ලකම වාගේ පද රචනය, තනු රචනය සහ ගායනයද ඔහුගේම වීම විශේෂත්වයකි. ස්වකීය ගීත නිර්මාණ වෙතින් ප‍්‍රකාශ වී ඇත්තේ බොළඳ පේ‍්‍රමය නොව ඊට වඩා අරුතක් ගෙනදුන් දෙයක් බව පෙනී යයි. ඔහුගේ ඥාති පුතු සුනිල් සමරකෝන් පවසන පරිදි ආනන්ද සමරකෝන් ශූරීන් ආදරය, පේ‍්‍රමය සලකා ඇත්තේ සහ විග‍්‍රහ කොට ඇත්තේ පූජනීය දෙයක් ලෙසිනි. එපමණක්ද නොව එතුමාගේ ගීත සියල්ලෙහි ආදරය සමග සොබා සෞන්දර්යය ප‍්‍රකාශ වීම බෙහෙවින්ම රසවත් දෙයකි. එය පරිසරයට ඔහු දැක්වූ අප‍්‍රමාණ ආදරය, බැඳීම නිසාම විය හැකිය.

”පොඩිමල් එතනෝ
සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළඳේ
කදිමට කවි කියන්නේ
ඉඳ තනියම ගං තෙරේ
පොඩිමල් එතනා... සුරතල් එතනා...

අතු අග අර සිටින ඒ
රණ ගිරවිට ඇසෙන සේ
කියන්නෙ කවි මේ ලෙසේ
නිකමෙට හිතුණා
හා හා ඔය බොරු එපා
දන්නවා මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ
කවිය කියන්නේ...
සුරතල් එතනා පොඩිමල් එතනා
අහසේ හිරු බැස යතේ
කුරුල්ලො ඉඟිලී යතේ
ගඟ දිය සුළඟින් නැගේ
බලන්න මහිමේ...”

ආනන්ද සමරකෝන් ශූරීන් ආදරය සහ සොබාදහමට මුසුකළ සුසංයෝගය ඒ ගීතයේ අපූරුවට ප‍්‍රකාශ කෙරෙන්නාක් මෙන්,

”බැස සීතල ගඟුලේ
පීන පීන නාමුකෝ නගෝ
හඳපානේ... හඳපානේ
සීතල ජලය අගෙයි...
ගත සිත පිනයි... පිනයි..
පොඩි... පොඩි රළඳ නගී
රාසි...රාසි පෙළ ගැසී...
හඳපානේ... හඳපානේ...

සමනළ කන්ද පෙනේ..
කදිමට හඳ එළියේ
හනිකට නාමු නෙඟා්
නාමු නාමු ගිලෙමින් ජලයේ...”

යන ගීතය එහි රසය තවත් ජනිත කරවයි. එමෙන්ම එතුමා ගැයූ විලේ මලක් පිපිලා,
එන්ඩද මැණිකේ ආදී ගීතද කිසිදා අප මනසින් ඈත් නොවන ඒවාය.

කෙසේ වෙතත් එසේ වූ ඒ අගනා කලාකරුවාණන් ජීවිතයෙන් සමුගෙන ගියේ අකලටය. දෙවැනි විවාහයේ එකම දරුවා වූ අරුණදීප අකලට මිය යාමත්, ඔහුගේ අනුදැනුමකින් තොරව ජාතික ගීය වෙනස් කිරීම යන කාරණා මුල් කරගෙන සිය ජීවිතයේ අවසාන කාලය ගෙවා දමා ඇත්තේ දැඩි චිත්ත පීඩාවකිනි. එලෙසින් ඔහු සිය ජීවිතයෙන් නික්ම ගියේ පෞද්ගලික තරහකාරයින් ඔහු පීඩාවට පත්කළ නිසා බව විචාරක මතයයි. කෙසේ වෙතත් කලාවේ සැබෑ අර්ථය නොදත් කලාකාරයින්ට වඩා මේ වඩාත් සංවේදි මිනිසා මහා යුග පුරුෂයෙක්ම වෙයි.

අපේම අපේ සුන්දර ගීත කලාවකට මුල පිරූ මුල් පුරුක වූවා පමණක් නොව ඔහු විටෙක භාරතයේ මහා ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් ‘සැඩ සුළං’ චිත‍්‍රපටය සඳහා ගැයූ

‘ශ්‍රී... ලංකා... මා පි‍්‍රයාදර
ජය භූමි.... ජය භූමි...
ශ්‍රී ලංකා....

යන ගීතයෙහි වචන උච්චාරණය පුරුදු කළේත් මෙතුමාය. ඉන්පසු කේ. රාණි ‘සුජාතා’ චිත‍්‍රපටයට ගැයූ
‘මන රංජන දර්ශනීය ලංකා මාතා අභිරමණී...’

ගීතයෙහි රචනය සහ තනුවත් ඔහුගේමය. ඒ සියල්ල නොනැසී පවතින රස මිහිරක ඵලයක්ම වන්නේය.

මෙලෙසින් අපට ආනන්ද සමරකෝන් ශූරීන් ගැන බොහෝ දේ බොහෝ සෙයින් ලිවීමට හැකිය. නමුදු ඔහු සමුගෙන ගොස් දශක කීපයක් ගෙවී ගොසිනි. ජන්ම දිනයද වසර සියය ඉක්මවයි. ඒත් ඔහු ජීවමානව අප අතර සිටින තරමටම ඔහු අපට සමීපය. සැබෑම සැබෑ කලාකරුවන්ගේ ස්වභාවය එසේමය.

ස්තූතිය x මෙම සටහන ගෙන ඒමට අපට සහාය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ ආනන්ද සමරකෝන් ශූරීන්ගේ මලණුවන්ගේ පුතු සුනිල් සමරකෝන්ට අපගේ ස්තුතිය පිරිනැමේ.

සඳුන් ගමගේ

No comments:

Post a Comment