Monday, February 7, 2011

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ

ආචාර්ය නිමල් රුවන් පතිරණ රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ සංවර්ධන හා පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ දැව පිළිබඳ aපර්යේෂණ කර එම තතු අනාගත පරපුරට දායාද කරමින් සිටින විද්වතෙකි.

රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ සංවර්ධන පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස "තුරුජන සිසු බැංකු" වැඩසටහන, මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය වැනි පරිසර සංරක්‌ෂණයට ඉටුකළ මහා කාර්යභාරය නිසා 2009 වර්ෂයේ "මැකෝ" (පරිසරවේදී) රන් සම්මානය ඔහුට හිමිවිය.

ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා සමඟ "ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ" කෘතිය එළිදැක්‌වීමට රට පුරා සැරිසරා වනපෙත්, ශ්‍රී ලංකාවේ පැරණි දැව නිර්මාණ ඇති ස්‌ථානවල රෑ දවල් නොතකා වෙහෙස නොබලා සෙවනැල්ල සේ සිටි රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ පුහුණු කළමනාකාර චමින්ද කුමාර මුතුමාල මහතාද රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ගෞරව උපාධිධරයෙකි. දැනට ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාපති පශ්චාද් උපාධිය හදාරයි. මුතුමාල මහතා රාජ්‍ය දැව සංස්‌ථාවේ තාක්‌ෂණ පුහුණු ආයතනයේ දේශකවරයෙකි.

මේ දෙදෙනාගේ මහත් පරිශ්‍රමයෙන් සිරිලක විස්‌මිත දැව නිර්මාණ සහ විස්‌මිත දැව තාක්‌ෂණය පිළිබඳ දුර්ලභ තොරතුරු ඡායාරූප ඇතුළත් කෘතියක්‌ එළිදක්‌වා ඇත. එය ශ්‍රී ලංකාවේ ආශ්චර්යවන් දැව නිර්මාණ නම් වේ.

මෙම ග්‍රන්ථයෙන් අපගෙන් ශේෂවී ගොස්‌ ඇති අනුරපුර හා පොළොන්නරු යුගවල දැව නිර්මාණවල ප්‍රතිනිර්මාණයන් මෙන්ම මහනුවර දඹදෙණි යුගවල නිමාවූ දැනට ආරක්‌ෂිත තත්ත්වයේ ඇති නිර්මාණ රැසක්‌ අපට දක්‌නට සැලැස්‌වීම අගය කළ යුතු කාර්යකි.

පැරැන්නෝ විවිධ දැව දඬුවල තාක්‌ෂණය, ඖෂධීය ගුණය, ජලයට නොදිරා ඔරොත්තුදීමේ ශක්‌තිය, විවිධ වර්ණ සහිත දැවවලින් නෙත් ඇද බැඳ ගන්නා ආකර්ෂණීය බව, කලාත්මක බව ආදී හැම අංශයක්‌ම දැන සිsටියේ පරිසරය හා ජීවත්වීම ලත් අත්දැකීමෙනි.

දැවයෙන්ම නිමවූ ඇම්බැක්‌කේ දේවාලය, එදා රට පාලනය කළ සුද්දන් පවා හිස නමාගෙන ගෙය තුළට ඇතුළුවීමට නිර්මාණය කර තිබූ මඩුවන්වෙල වලව්ව, බදුල්ල, හාලිඇල, සිට ගලඋඩ මාර්ගයේ බෝගොඩ රජමහා විහාරයට යැමට ඇති බෝගොඩ දැව පාලම, ශ්‍රී ලංකාවේ විශාලම දැවමය වී අටුව, පනාපිටිය අම්බලම ආදි නිර්මාණ ද නොදුටු බොහෝ දෙනා අප රටේ සිටින්නට පුළුවන.

ක්‍රීඩා භාණ්‌ඩ, මුළුතැන්ගෙයි උපකරණ දඬු කඳ, වේල් කරත්තය ආදී උපකරණ කතුවරුන්ගේ පරිශ්‍රමයෙන් ජාතියට දායාද කරදී ඇත්තේ මෙම පර්යේෂණාත්මක ග්‍රන්ථය තුළිනි. මෙම ග්‍රන්ථය රාජ්‍ය දැව සංස්‌ථාවෙන් මිලදී ගත හැකිය.

මාතර කේ. එච්. පියසේන

No comments:

Post a Comment